හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )





ඉක්මනට හත්වෙනි කතාව දාන්න හිතුවේ මොකද කියනවනම් ඉල්ලීම් ගොඩක් වැඩි නිසයි. ගීත විචාර කියවා ඔබත් කැමති ගීත පිළිබඳ ලියනා ලෙස බොහෝ දෙනෙකු ඉල්ලා සිටි. එම ඉල්ලීම් අනුව ලැබුණු ගීතයක් පීලිබදව සටහනක් තැබීමට මා තීරණය කරන ලදී. ගීතය මෑතක බිහි වුවකි. ගීතය " හන්තාන සිහිනේ", පද රචනය " ජානක සිරිවර්ධන", ගායනය අමරදේව සමග උමාරියා සිංහවංශ. අමරදේව නැමති මෙරට සංගීත වංශකතාවේ ප්‍රධානතම ගාන්ධර්වයන් නව පරපුරේ උමාරියා සමගින් මෙවැනි ගීයක් ගැයීම ඇතමුන් පුදුමයට පත් කරන්නක් විය. නමුත් ගීතයේ අර්ථය සමගින් ගත් විට පැහැදිලි වනුයේ එම තෝරා ගැනීම හරියටම හරි බවයි.

අපි හන්තානේ කිව්ව ගමන්ම දන්නවා මේ කියන්නෙ පේරාදෙණිය සරසවියේ ප්‍රේමකතාවක් කියලා. නමුත් මේක අපි අහලා තියෙන කතාව නම් නෙවෙයි. මේක ඇතුලේ කියන්නෙ ගැහැණු ළමයා වැලපෙන්නෙ ප්‍රේමයක් වෙනුවෙන් තමයි හැබැයි අපි හිතන ප්‍රේමයක් වෙනුවෙන් නෙවෙයි. සරලවම කියනවා නම් මේක ඇතුලේ කියන්නෙ සරසවි ගීෂ්‍යාවක් සරසවි ඇදුරෙකුට පෙම්කරන කතාවක්. අන්න ඒක නිසා තමයි මේ හන්තාන සිහිනය නෙළා ගන්න මෙච්චර අමාරු වෙලා තියෙන්නෙ.

දෙවන කොටසින් අපිට පැහැදිලි වෙන්නෙ මේ ගුරුවරයාගේ පෙර විවාහය දෙදරා ගියපු එකක් කියන එකයි. සමහර විට ඇය ඔහුව දාලා ගිහිල්ලා වෙන්න පුලුවන්." බිසෝ හැර ගිය ලසෝ රගහල අමාවක අදුරේ" කියන්නෙ අන්න ඒක නිසා තමයි. ඇය ඔහුට ආරාධනා කරනවා තුරුළුවෙලා මේ සරසවි භුමියේ ආදරෙන් ඉමු කියලා. නමුත් කලින් විවාහය දෙදරයාමෙන් මේ ගුරුවරයා ඉන්නෙ අදුරේ. ජිවිතේ කිසි එළියක් නෑ. ඒක නිසා ඔයා මගේ ලෝකෙට ඇවිත් ජිවිතේ අදුරු කර ගන්න එපා කියලා තමයි මේ කියන්නෙ.
අවසානේ මේ ගීෂ්‍යාවට ගුරුවරයා ගැන තියෙන ගෞරවය පෙන්නන පද පේලියක් තියෙනවා. ඒ තමයි " වඩින තුරු සඳ දුරින් ඉන්නම්" කියන එක. මේකෙන් වඩිනවා වගේ පදයකින් පෙන්නන්නේ ගෞරවය කියන එක තමයි. ඒ වගේම ගුරුවරයා කවදා හරි දවසක ඇයට ආදරය කරනකම් දුරට වෙලා ඉන්නම් කියලත් කියනවා. ඒකෙන් පේනවා ඇය කොයිතරම් අවංක හදවතක් තියෙන කෙනෙක් ද කියලා. කොහොම උනත් අවසානයේ ගුරුවරයා ඇයට ආදරය කරනවා. ගුරුවරයා දනනවා මෙහෙම ආදරයක් ලං කර ගන්නවා කියන්නෙ විශාල ප්‍රශ්න ගොඩකුත් තුරුලු කර ගන්න එකට කියලා. එහෙම කියලා මේ වගේ අවංක ආදරයකට පයින් ගහන්න එයාට බැහැ. "ඉදිණු මැන සොදුරේ "කියලා ගීතය අවසන් කරන්නෙ ඒකයි.

ගිතය ඇතුලේ කතන්දරය ඕක තමයි. සරසවි ඇතුලේ ගුරුවරු හා ගීෂ්‍යාවෝ අතර සබඳතා අපිට ඉද හිට ආරංචි උනත් ඒවා බොහෝ විට වෙනත් අවශ්‍යතා වෙනුවෙන් ගොඩනගා ගන්න ඒවා කියලා අපි හොඳටම දන්නවා. ඒ වගේ කතන්දර අපිට හිරිකිතයි. ඒවා ඇතුලේ තියෙන්නේ කුණු වෙච්ච කතන්දර.එහෙම එකේ උමාරියත් එකතු කරගෙන අමරදේව කියන මේ කියන ප්‍රේම කතාව නම් මාර වටිනවා.
ඔබගේ පෙම්වතියට හෝ පෙම්වතාට කෙටි පණිවිඩ සටහන් කරන විට මේ ගීතයේ කොටස් ඇතැම් විට ඔබ අමුණන්න ඇති. මොකද මේකෙ තේරුම හරියට ⁣ඔබ නොදැන සිටි නිසා. මැදිවිය ඉකිම වූ බඹරෙකු හා තුරුණු වියේ සිටිනා මලක් අතර ප්‍රේමයක් බව ඔබ දැන සිටියා නම් එසේ නොකරනු ඇත. කෙසේ වෙතත් ඔබ ගේ කැමතිම ආදර ගීත ලැයිස්තුව තුළ මෙම ගීතය ඉදිරියේදිත් තබා ගන්නා ලෙස මා ඔබට යෝජනා කරමි. මන්ද මෙය කිසිම හිරිකිතක් නැති පිවිතුරු ප්‍රේමකතාවක් වන බැවිනි.

උමාරියා යනු නව පරපුරේ සිටිනා දක්ෂතම ගායිකාව බව මාගේ මතයයි. එමෙන්ම පණ්ඩිත් අමරදේවයන්ගේ හඬට නව පරපුරේ රසිකයන් නැවති සවන් දුන්නෙ නම් ඒ මෙම ගීතය හරහා විය යුතුය. ඉතිං හාන්තානයේ අපි දන්නා සාම්ප්‍රදායික ප්‍රේමකතාවලට වඩා වෙනස් කතන්දරත් තියෙනවා කියලා මේ ගීතය මතක් කරලා දෙනවා. මිත්‍රවරුනි ඉතිං අප නැවති ආයෙත් මේ ගීතයට සවන් දෙමු. ඔබට අමරදේවව වෙනදට වඩා දැනෙයි වගේම උමාරියට වෙනදට වඩා ආදරේ කරයි. සත්තයි........
( චානක දිල්රුක් 2017-09-05 )

Comments

Popular posts from this blog

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )