පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )





ගීතය - සබඳ අපි කඳු නොවෙමු
පද - දර්ශන මෙන්ඩිස්
හඬ - ගුණදාස කපුගේ...
විචාර ඉල්ලීම - නුවන් ප්‍රියංකර

අද තෝරගත්තෙ මෙච්චර දවසක් කියපු කතාවලට වඩා වෙනස් කතාවක් කියන ගීතයක්. මං දන්නවා දැනටමත් ඔබ මේ ගීතය ඇති වෙනකන් අහලා ඉන්නෙ කියලා. ඒ වගේම මේකේ තේරුමත් කොහෙන් හරි තැනකින් අල්ලගෙන ඉන්නෙ කියලා. කොහොම උනත් මට හිතෙන්නෙ වැඩි දෙනෙක් මේක අල්ල ගත්තට හරි තැනින් අල්ලගෙන නෑ කියලා. මොකද ඔබ තේරුම් ගත්ත දේ වැරදී නෑ තමයි. හැබැයි මිත්‍රවරුනි ඒක හරියට හරි නෑ.....
" සබඳ අපි කඳු නොවෙමු " ගීතය මිතුරු සමාගම් ඇතුලේ කොහොමත් හිට් වෙච්ච ගීතයක්නෙ. අපි මේක මිතුරන් අතර රහ කරන එකක් වුණාට මේකේ ඇතුලත කතාව වෙනස්. මං කියන්න හදන්නෙ අන්න ඒ කතාව තමයි. තේරුමට සමහරු කැමති වෙයි, ඒ වගේම අකමැති වෙයි. මොනවා උනත් මනුෂ්‍යත්වය ඔබට හමු වෙයි.
මේ ගීතය ලියන්නෙ දර්ශන මෙන්ඩිස් තමන්ගේ කඳුලු මිටියාවත කියන පොතේ. පස්සේ තමයි ගීතයක් වෙන්නෙ. මේක ලියලා තියෙන්නෙ අපි හිතන් ඉන්න අර්ථයෙන් නෙවෙයි.සරලව තේරෙන්න කියනවා නම් මේක දෙමළෙක් සිංහලයන්ට කියන එකක්. පොඩක් අවුල් වගේ නේද? තේරුනේ නෑ වගේ නේද?... ඉන්නකෝ කතාව කියන්නම්.
මිනිස්සු හැමදාම බැලුවේ තමන්ගේ ජාතිය, ආගම බේරගන්න. හැමෝම බැලුවේ එක එකා පරද්දලා ඉහලට යන්න. හරියට කඳු වගේ. කාටවත් පිරිසිදු දියදහරක් වෙලා එකතු වෙන්න උවමනාවක් තිබුනේ නෑ. තමන්ගේ ජාතිය තමයි හොඳම කියලා එකිනෙකා මරා ගත්තා. මේ ගීතේ ඇතුලේ කපුගේ කෑගහලා කියන්නේ අන්න ඒක. " උඹලා කදු වෙන්න තරඟ කරන්නෙ නැතුව මනුෂත්වය වෙනුවෙන් එකතු වෙයල්ලා"
මේ ගීතයේ ඉතුරු පද සියල්ලෙන්ම කියන්නේ මේ කතන්දරය තමයි. රටක් ගිණි තියන්න ජාතින් අතර ගැටුමකට පුලුවන්. අපි අවුරුදු තිහකට වැඩියෙන් ඒ ගින්නට පිච්චුන මිනිස්සු. ඒකට උතුරේ දකුනේ කියලා වෙනසක් තිබුනේ නෑ. රචකයා අපිට කියන්නෙ අන්න ඒ ගිණි අවුලන එකෙක් නොවී ඒවා නිවන්න පුලුවන් වැස්සක් වෙන්න කියලා.
ගීතය අවසන් කරන්නෙ හරිම අපුරු විදිහකට. ඒ තමයි. අපි අපේ බාල පරම්පරාව විනාශ කරන ජාතිවාද අතහරිමු. පුලුවන්නම් මිනිසුන්ට හැංගිලා තියෙන ඇත්ත පෙන්නමු. මනුෂ්‍යත්වය මතුකරමු......මේක දෙමලෙක් සිංහලයන්ට කියනවා කියලා මං මුලින් කිව්වනේ. මං එහෙම කිවිවේ හේතුවක් ඇතුව. මොකද දර්ශන මෙන්ඩිස් මෙික නම් කරලා තියෙන්නෙ " උතුරින් දකුණට " කියන තේමාව යටතේ.
සමස්තයක් විදිහට ගත්තොත් මේ ජාතිවාදි ප්‍රශ්නවලින් පීඩා වින්දේ උතුරෙත් දකුනෙත් අහිංසක මිනිස්සු. අපිව පීඩාවට පත් කරේ හැමදාම සැප විදපු දේශපාලන අවස්ථාවාදියෝ. අන්න ඒ අවස්ථාවාදියොන්ට අහුවෙලා මනුෂ්‍යත්වය නැති කර ගන්න එපා කියලා තමයි අපිට මෙික ඇතුලේ කියන්නෙ.
ගීතය ගැන කියන කොට ගායකයා අමතක කරන්නම බෑ. මොකද කපුගේ කියන්නේ ජනතාවගේ පැත්තෙ හිටගෙන සින්දු කියපු මිනිහෙක්. ඉතිං ඔබ කපුගේට සවන් දී නැත්නම් ඒකට හුරු වෙන්න. ඔබ කපුගේ ව තදට අල්ලගෙන නැත්නම් තදට අල්ල ගන්න. ඔබ කපුගේට ආදරේ කර නැත්නම් බලෙන් හෝ ආදරය කරන්න. මේ සියල්ල අවසානයේ මේ ගීතයේ අර්ථය ඔබට හමුවේවි. එනම් ඔබ මනුෂ්‍යත්වයට ආදරය කරාවී. මන්ද කපුගේ යනු නියම මනුෂ්‍යයෙකු වන බැවිනි. එදාට කපුගේ බේබද්දෙකු ද නොවනු ඇත.
  • ( චානක දිල්රුක් 2017 - 09 - 08 )

Comments

Popular posts from this blog

පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )