තේරුම දැනගත්තොත් ලෝකයා ගල් ගසනවා නිසැකයි.
ප්‍රේමකීර්ති යනු කොතරම් දක්ෂයෙක් දැයි වර්තමානය බොහෝ විට හදුනන්නේ නැතත් එම අවධියේ සිටි අයගෙන් සුලුතරයක් හෝ හදුනති. වර්තමානයේ ප්‍රේමකීර්තිව අධ්‍යයනය කරන්නට යමෙකුට අවැසි නම් වික්ටර් රත්නායකගේ ගීතාවලිය පළමුව අධ්‍යයනය කරන්නට සිදු වෙයි. ඒ තරමට ඔවුන් දෙදෙනා අතර නිර්මානාත්මක සබධතාවයක් පැවතුණි. මා මේ කියන්නට උත්සහ කරනුයේ ප්‍රේමකීර්ති අතින් ලියැවුණු, අර්ථය අතින් ගත් කළ තරමක විවාදයට තුඩු දෙන, බොහෝ දෙනෙකු හරිහැටි තේරුම් ගෙන නොමැති ' අපේ හැගැම්වලට ඉඩ දී මොහොතක්' ගීතය පිළිබඳව කෙටි සටහනක් තැබීමටයි. එයට පෙර මා ඔබට යෝජනාවක් කරමි. එනම් මෙම පද තේරුමෙන් පසුව ඔබ ප්‍රේමකීර්තිට ගල් ගැසීමට සූදානම් නොවනු. මන්ද එසේ වුවහොත් එය උඩ බලා කෙළ ගැසීමක් වන බැවිනි.
ලෝකයාම බුද්ධියට මුල් තැන දී ගැගීම් යටපත් කරන්නට කතා කරනා විටෙක හැඟීම්වලට ඉඩ දෙන්නට ගීතය ආරම්භයේදීම යෝජනා කරයි. සමාජය විසින් කිසියම් සංස්කෘතික රාමුවකට මිනිසා කොටු කරති. ඒ හේතුවෙන් මිනිසුන්, ගැහැණුන් බොහෝ ආසාවල් යටපත් කරගෙන ජීවත් වෙති. රචකයා උත්සහ කර ඇත්තේ එම රාමුව මොහොතකට හෝ බිඳ දැමීමටයි.
මේ ගීතයේ මූලික යටි අරුත සරලව පැහැදිලි කරනවා නම් සැබෑ ලෝකයේ පෙම්වතුන් ලෙස එකතුවෙන්නට බැරි දෙදෙනෙකු රහසින් එක් වෙන්නට කරන යෝජනාවක් ලෙස මෙය හදුන්වන්නට පුලුවන්. මොකද මේ දෙන්නම විවාහක දෙන්නෙක්. ඉතිං මොවුන්ට විවාහයේ හෙවණැල්ලෙන් මිදිලා ටික වෙලාවකට හරි එකතු වෙන්න ඕනේ. හැබැයි ලෝකෙටම හොරෙන්. අදුරේ.......
මොවුන් ලැබෙන සුලු මොහොතෙත් ප්‍රාර්ථනා කරන්නේ ඊලග ආත්මෙදිවත් එකතු වෙන්න. ඒක අහිංසක බලාපොරොත්තුවක් තමයි. ඒත් විවාහක ජීවිතේට පිටින් මේ වගේ සම්බන්ධකම් අපේ සංස්කෘතිය ඇතුලේ අනුමත වෙන්නේ නෑ. එහෙම උනාම මේ වගේ පද රචනා ප්‍රතික්ෂේප වෙනවා කියලා ප්‍රේමකීර්තිත් හොඳටම දන්නවා. ඒක නිසා තමයි මේ කතාව ලස්සනට හංගලා ඉගි කිහිපයක් එක්ක විතරක් ලියලා තියෙන්නේ.
හැගීම් එක්ක ජිවත් වෙන්න අකමැති කිසිම මිනිහෙක් නැහැ. එහෙම එකේ මේ ගීතය ඇතුලේ ගොඩක් එවුන්ගේ කතන්දර හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා. එහෙම එකේ ප්‍රේමකීර්තිට ගල් ගහනවා කියන්නේ උඩ බලන් කෙළ ගහනවා කියන එකටම තමයි.
චානක දිල්රුක්ෂ 2017-08-23

Comments
Post a Comment