සැනසිල්ලෙ නිදියන්න
සිරිපාදේ වදින සමනල්ලුත්
සීතලට පෙගෙන කොට
කහපාට මල් වුනත්
පීදෙන්න බය ඇති
සඳ වුණත් ගිණි ගන්න
ඉර එළිය වැටෙන කොට
තරුවකට පුළුවන්ද
සැනසිල්ලේ නිදියන්න
මේ කතාව
කොහොම ඇමුණුවත්
කෙළවර තියෙන්නේ
දුකක්...
ඇල්පෙනෙති තුඩුවටත්
සැලුණු හදවතක්
සිල්පර කොට මත
පාරමී පුරපු
දුකක්...
හදවතේ දුක ඇස් දෙකෙන්
බේරෙන කොට
උඹට මාව තිත්ත වෙන්න ඇති
හොදටම
'මං බැදපු මිනිහෙක්'
කියන කොට පවට
බෙන්තර ගඟට තල්ලු
නොකළේ මොකද...
ඉතිහාස පොතම
පෙරලුවත්
හමුවුණේ නැහැ බං
උඹ වගේ
එකියක්...
ප්රමිලා, සම්බුලා ලගවත්
තිබුණ ද සැකයි
ඔය වගේ ආදරයක්...
මං ඉතිං රගපෑවේ
වැද්දගේ චරිතයනේ
එදත්...
බෙන්තර පාලම සේරම දැකලත්
මොකුත් කිව්වේ නෑ
ගඟ අදත් සීතලට ගලනවා
කිසිම වෙනසක් නෑ
මගෙ අතින් සමනළි මැරුණත්
මල්වලට ගානක් නෑ
යකඩයා අදත් හූ කියනවා
කාට ද දන්නෙ නෑ
චානක දිල්රුක්ෂ - 2017-07-22

Comments
Post a Comment