වෙරලියැද්දගෙන් පුංචි ප්‍රේමවන්තියන්ට








අදත් කියන්න හදන්නේ ගීයක පද පේලී අතර හැංගුන කතාන්දරයක් ගැන. මේ ගීතය බොහෝ විට අසා ඇති මෙන් ම මුල් පද පේලී හතර නිසැකව ම මතකයේ ඇති එකක්. ඒ අන් කවරක් නොව සියඹලාගමුවේ අමරදාස නම් එතරම් පුරුදු නැති පද රචකයා විසින් සේනානායක වෙරලියැද්ද ලවා ගායනා කරවනු ලැබූ ' කන්ද පිරිමැද පිරිමැද' ගිතයයි. මෙය ඉතා සරල ගීතයක් ලෙස බොහෝ දෙනෙකුට ඒත්තු ගිය ද මෙහි යටි අරුතේ ප්‍රභලත්වය එදාටත් වඩා අදට ගැළපෙයි.

මේ ගීතයෙන් කියවෙනුයේ ලාබාල වයසේ සිටින ප්‍රේමවන්තියකට තම  ප්‍රේමවන්තයා විසින් ලබා දෙන උපදෙසකි. ප්‍රේමවන්තිය ගත කරනුයේ එතරම් හොඳ වයසක් නොවේ. ඇයට හරි වැරැද්ද තේරුම් ගැනීමට තවමත් නොහැක. ඉතිං මේ කෙල්ලට ඕන ඉක්මනට කසාද බදින්න වගේම කායික අවශ්‍යතා ඉටු කර ගන්න. ඒක ඉතිං ඒ වයසේ හැටියක් කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. හැබැයි කොල්ලා මේකට කැමති නෑ. කොල්ලා දන්නවා විවහා ජිවිතේ කියන්නේ වන්දනා ගමනක් වගේ දේකට කියලා. වන්දනාව යන්න කියලා ඉක්මන් වුනොත් මගින් බහින්න වෙනවා මෝඩියේ කියලා තමයි ප්‍රේමවන්තයා ආදරෙන් කියන්නේ. හඳක් වුණත් පායන්නේ පිළිවලට. එක පාරටම අහසට පාත් වෙන්නේ නැහැනේ. ඒක නිසා ඉවසන්න......

මේ ගීතය ඇතුලේ මං ආසම පද පේලීය තියෙන්නේ ඊලගට. මේ පද පේලිය ඇතුලේ මුලු ගීතයේම අර්ථය හැංගිලා තියෙනවා කිව්වොත් හරියටම හරි.  ' අරලියා මල් ඔහේ පිපුණට පෝය නෑ ඇවිදින්' අරලියා මල් පිපෙන්නේ පෝයට විතරක් නෙවෙයි. ඕන වෙලාවක පිපෙන්න පුලුවන්. හැබැයි කෙල්ලේ උඹ ඒවා දැක්කට පෝය ඇවිල්ලා කියලා රැවටෙන්න එපා. වෙරලියැද්ද නොකියා කියන්නේ වෙන මොකුත් නෙවෙයි. උඹ ලොකු ළමයෙක් වෙලා ඉන්න එක ඇත්ත. උඹට ලොකු කෙල්ලෙකුගේ හැගීම් දැනෙන එකත් ඇත්ත. හැබැයි දෙයියෝ උඹ දැන්ම මල් පූජා කරන්න එපා. එහෙම වුණොත් අපි දෙන්නටම පෝයට පූජා කරන්න දෙයක් නැති වෙයි. උඹට තාම ජිවිතේ තේරෙන්නේ නෑ. විවාහය කියන්නේ මහ බරක් ඒක තියෙන්නේ ඇද උඩ විතරක් නෙවෙයි. උඹ ටිකක් ඉවසලා ඉදපං පෝය ලගම එනවා...

ගිතය අවසන් කරන්නේ උඹ මේ කාලේ අම්මයි තාත්තයි කියන දේ අහගෙන ඉදපං. එතකොට පෝය ආවම අපිට පන්සල් යන්න පුළුවන්. නිකන් නොවෙයි මලුත් අරගෙනම යමං. මේ ගීතය පුරාවටම රචකයා කියන්නට උත්සහ කරනුයේ එකම දෙයකි. එනම් ඉවසපං. ඉවසපං. ඉවසපං....

මෙවැනි ප්‍රේමවන්තයෙකු ලබන්නට ප්‍රේමවන්තියක් සැබවින්ම වාසනාවන්ත විය යුතුය. එවැනි ප්‍රේමකතා විවාහයේ වන්දනා ගමන සාර්ථකව අවසන් කරන බවට සැකයක් නොමැත. ප්‍රේමවන්තයින් ඉස්සරහා වේලාසනින්ම සියල්ල පූජාකරලා බලන් ඉන්න කෙල්ලන්ට මේ ගීතය කියලා දෙන්නේ හොඳ පාඩමක්. හැම කෙල්ලෙක්ගෙම කැමතිම ගීත ලැයිස්තුවට ඉහලින්ම එකතු කර ගන්න ඕන එකක් මේක. ඒ වගේම හැම ප්‍රේමවන්තයෙක් ම තමන්ගෙ ප්‍රේමයේ තේමා ගීතය විදිහට මේක භාවිතා කරත් වරදක් නෑ. 

බාල පරම්පරාව කවදා හරි දවසක වෙරලියැද්ද කියන්නේ කවුද කියලා ඇහුවොත් කරුණාකර මේ ගීතය ඇතුළු ඔහුගේ මුල් ගීතාවලිය පෙන්නන්න. තේරුම් හැංගුන ලස්සන ගීත ගොන්නක් වෙරලියැද්ද කියලා තියෙනවා බොහොම රහට. තව දෙයක් තමයි හැකිනම් ' දුක තද කරන්' ඇතුළු නවීන ගීතාවලිය බාල පරපුරෙන් හංගන්න. මන්ද අතීතයේ වෙරලියැද්ද යනු මිනිසා වෙනුවෙන් ගී ගැයූ ගායකයෙක් වුව ද වර්තමානයේ එවැන්නෙක් නොසිටිමයි.  එබැවින් වෙරලියැද්දට වෙරලියැද්දව සොයා ගැනිමේ අභියෝගයක් ද වර්තමානයේ පවතී.

ඉතිං පුංචි ප්‍රේමවන්තියනි අරලියා මල් පිපුණාට නොරැවටෙන්න.... මන්ද පෝයට තව දින ඇති බැවිනි....


චානක දිල්රුක්ෂ  2017-08-23

Comments

Popular posts from this blog

පීඩිත ජාතියේ පීඩිතයෙකුගෙන් පීඩක ජාතියේ පීඩිතයෙකුට ( ගීතයක කතාව 08 )

පිරිමි ලෝකය ගිණි තියපු ගැහැණිය : දීපිකා ( ගීයක කතාව 04 )

හන්තාන පැත්තෙන් වෙනස් කතාවක් ( ගීතයක කතාව - 07 )